මම යන එන තැන්

Sunday, August 14, 2016

රෝහලක ගෙවුණු පළමු රැය 2



ඔන්න බොලන් ආයෙත් මම කොටන්න කියල ලෑස්තිය.පහු ගිය කාලයේ අතිශය කම්මැලිකම නිසා මට කොටන්න බැරි උනා. නිසා මුලින්ම ඔබ සියලු දෙනාගෙන් සමාව භජනය කරනවා. අනිත් බ්ලොග් එකක්වත් කියවන්න බැරි තරමට මගේ කම්මැලිකම බලවත් උනා. එත් මගේ කතන්දර කියවමින් ඉන්න උන්ගේ අදෝනාව අහගෙන ඉන්න බැරි නිසා ආයෙත් කොටන්න කියලා හිතුවා. එහෙම බලවත් සිතුවිල්ලෙන් viva එකක් බොන්න පුළුවන් උන නිසා මගේ සිතුවිල්ලේ ශක්තිය දෙගුණ තෙගුණ වී අද ලියනවමයි කියලා හිතා ගත්තා .මම අන්තිමට ලියමින් හිටියේ රෝහලේ කතාව. කියවන්න පුළුවන් උන අය බැරි උන අය ඔක්කොම ගිහින් කියවලා ආවා නම්.මෙන්න පහලින් රිංගන්න.


තැපැල් අයියාගේ බිත්තර ආප්ප වලට අපි වග කිව්වා.නුවන් අයියත්,තැපැල් අයියත් නින්දක් දාන්න ගියා. මගේ තනිකම පාළුව මකන්න මට උපකාරී උන මගේ ජංගම දුරකථනය මගේ අත් දෙකට අරගෙන මන් පාඩුවේ මගේ වැඩක් කරගන්න සුජානම් උනා.කරුමයක මහත 3G තියා E සිග්නල්වත් හරියට තිබුනේ නැති නිසා මම නේවාසික රෝගීන් ඉන්න ගොඩනැගිල්ලෙන් එලියට ආවා.වෙලාව හවස 6 45 විතර ඇති.ආලෝකය දුරු කරමින් අදුර පැමිණෙමින් තිබුණු ඉතා සීතල සුන්දර සැන්දෑවක මම ගහක් යටට වෙලා හරිම මනස්කන්නතයි. බිම ඉද ගන්න මම හිතුවා. අපුරු සිතුවමක් පෙනුනා.පොලොව රතු පාටින් සිත්තම් වී තිබුනේ බුලත් කෙල වලින්.

"ඔය ලෙඩා බලාගන්න අපු මල්ලි ඇතුලට එන්න" අර කම්කරු මහතා මාව අමතයි. ඇතුලට ඇවිත් කොරන්නද බොට

"මල්ලි තව ටිකකින් දොර වහනවා ඉක්මනින් එන්න"ෆොනේ එකේ ඩේටා off කරපු මම ඇතුලට ගියා.

"කෑම ගන්න අය එන්න" නර්ස් ගේ කටහඩ දෝංකාර දුන්නා. ටික වෙලාවක් ගත උනා. කස්සටිය තම තමන්ගේ ආහාර ගන්න පටන් ගත්තා. ඉතින් මමත් නුවන් අයියත් එක්ක වැඩේට සෙට් උනා. මුලින්ම දත,කට මද ගන්න ඕනි කියලා නුවන් අයියා කිව්වා. ඉතින් මන් සන්ගුනවත් ලෙඩාගේ අත් දෙකෙන් අල්ලාගෙන බාත්රූම් එක පැත්තට එක්කන් ගියා. මන් හිතුවට හොද පහසුකම් රෝහලේ පැවතුනා. රෝගීන් 7 දෙනෙකුට එක බාත්රූම් එකක් තිබ්බා.ඉතින් අපි දත කට මැදගෙන කන්න කියලා ගියා. නුවන් අයියට බත් කන්න තරම් අත හොදින් තිබුනේ නැති නිසා මට පොරට කවන්න සිද්ද උනා.

ඔතලා තිබුණු බත් ගෙඩියක් දිග ඇරලා පොරට කටක් මට කටවල් දෙකක් බැගින් එක බත් එකක් ඉවර කරා. ඊට වඩා කන්න බෑ කිව්වා ඉතින් මාත් ආයේ හන් කරන්න ගියේ නෑ තව විටක් විටක් කියලා. නුවන් අයියට බත් කවන කොට ඔහුගේ මුහුණේ සිත්තම් වී තිබුණු හැගීම මට අකුරු කරන්න තරම් මගේ අකුරු කෙරුවාව පොහොසත් නෑ.සහෝදරයෙක් නැති නුවන් අයියට මම සහෝදරයෙක් උනා කිව්වොත් නිවැරදි.

"සලිත තව බත් එකක් තියෙනවා. උබ එක කාපන්"

"ඕක කියන්නත් දෙයක්ද බන් මන් ගොඩ දාන්නම්. "

ඔහොම කියලා බත් ගෙඩිය දිහා හරිනවත් එක්ක තැපැල් අයියත් නිදි කුමරාට සමු දීලා අවදි උනා. හිතවත් තැපැල් අයියට බත් විටක්  දෙන්න හිතක් තිබ්බේ නැති අහන එක යුතුකමක් නිසා මන් ඇහුවා .

"අයියා බත් විටක් දෙකක් කමුද"

"දැන් බෑ බන් බිත්තර ආප්ප ටිකක් කෑවා ආයේ කන්න බෑ බන්"තැපැල් අයියා බිත්තර ආප්ප කිහිපයකට වග කිව්ව බව මට මතක් උනා. වේලක්වත් කන්න බැරිව ලොව කොතරම් මිනිසුන් ඉන්නවද ඉතින් මම මේ බත් එක විසික් කරන එක කොතරම් පවක්ද එහෙම හිතා ගෙන මම අනිත් බත් එකක් අහවර කරා.අලුත ගෙනා මනමාලියගේ කෑම සෑදීමේ හැකියාව අනර්ග බව මට වැටහුනා.

අපිව දොයි කරන වැඩේ තැපැල් අයියා භාර ගත්තා. අපිට කතන්දර කියන්න ගත්තා.තැපැල් අයියා සිය ආදරණිය බිරිද ගෙදරට කඳන් එනකොට අයියට යන්තන් අවුරුදු 20 උනා විතරලු. දැන් අයියට වයස අවුරුදු 30 ලු. අවුරුදු 8 ළමයෙකුගේ ආදරණිය තාත්ත කෙනෙක්ලු. අයියා කියන හැටියට එයා ගොඩාක් සල්ලි පොලියට අරගෙන තියෙනවා. තමන්ගේ කියල ගෙදරක් නැති උනත් ගෙදරකට ඕනි ඔක්කොම බඩු එයා මිලදී කරගෙන ඉවරලු. තව ඌව පළාතේ bike එකේ ලියුම් බෙදන එකම කෙනා කියල ගොඩාක් ආඩම්බරයෙන් කිව්වා. එයා හිතා ගෙන හිටියේ මුහුණු පොතේ ලොකු කෙරුම්කාරයකු කියලා. ඔහුට මුහුණු පොතේ මිතුරන් 2000 වැඩ ඉන්න බව කිව්වා. පැයක් විතර ගියාට පස්සේ කතන්දර කියපු තැපැල් අයියටම නින්ද ගියා.

ඉතුරු වෙලා තිබුණු රබුටන් ගෙඩි දෙකක් අරගෙන මම ලෙඩෙක් නැති ඇදකට ගියා. ආසාවෙන් රබුටන් ගෙඩියක් සුද්ද කරා කටට දා ගන්න කියලා යනකොටම ලෙඩෙක් හොදට සෙම සූරන හඩ මට ඇහුනා. හරිම ප්රසන්න හඩක් පිට උනේ. රබුටන් ගෙඩිය කනවද නැද්ද කියන ලොකු ගැටලුවට මහුණ දුන්නා. එත් අන්තිමේදී කනවා කියලා දැඩි තීරණයට ආවා. කන්න යනකොටම ආයෙත් වරක් අර හඩ ඇහුනා.තීරණයක් අරගෙන තිබුණු නිසා මන් රබුටන් ගෙඩිය කෑවා.

"අර වස බීපු කෙනා බලා ගන්න කෙනා...."

"ඉන්නවා"

"අර කියපු බෙහෙත් ටික ගෙනාවාද"

"හෙට ගෙන්නනම්" විෂය භාර ඇමතිවරුන් පිටරට ගිහින් බෙහෙත් ගන්න හේතුව මට පසක් උනා.

ඉතින් මම මට හිමි යහනට වෙලා what up වලින් මිතුරන්ට කතා කරමින් කාලය කා දැම්මා.දැන් වෙලාව 10 30 විතර වෙලා. මමයි, නර්ස් කියන දෙන්නා හැරුණු විට අනිත් ඔක්කොම සුබ සිහින දකිමින් හිටියේ. එක පාරට වස බීපු ලෙඩා ටිකක් දගලන්න ගත්තා.මම වහාම නර්ස් දැනුවත් කරා.




 [රෝහලේදී ගත්ත ෆොටෝ කිහිපයක්. මගේ නිදි යහනත් දැක්කද??]


"පාලිත පාලිත ඉක්මනින් එන්න" ඔන්න දැන් මට හොද අවස්ථාවක් ලැබුනා. කම්කරු මහතාව bite කරන්න. වස බීපු කෙනා ටුට්ටක් දගලකොට නර්ස් කිව්වම සත්ගුණවත් කම්කරු මහතා වන පාලිත මහත්මයාට නිදි කුමාරිට ආයුබෝවන් කියලා ලෙඩා ලගට එන්න වෙනවා කියලා මම දැනගත්තා.මම ඉතින් කිහිපවරක් එහෙම කරා.

ටික වෙලාවකින් ලෙඩා හොදටම දගලන්න ගත්තා. ඉතින් එක පාලනය කරගන්න අපි තුන් දෙනාටම බැරි උන තත්වයක් ආවා. ඉතින් අත පය ගැටගහලා දාන්න නර්ස් තීරණය කරා. අපිට ලොකු ගැටළුවක් ඇති උනා. වස බීපු කෙනා බලා ගන්න ආපු කොහෙද?? පොරත් හොදටම නිදි. ඉතින් පොරව නින්දෙන් අවදි කරවලා ගත්තා. ඔන්න ඉතින් දකින දකින %^$#% එකට ඇගිල්ල ගහන ^%$# පුරුද්දක් මට තිබුණු නිසා මම වස බීපු කෙනා බලා ගන්න ආපු කෙනත් එක්ක ෆිට් උනා.වස බීලා තියෙන්නේ එයාගේ තාත්තා.

"අයියා අපි මල්වත්තේ. අපේ නංගියේ උත්සවේ තිබ්බ ලගදි. ඉතින් ඔය උත්සවේ අතරේ අපේ මාමලා දෙන්නෙක් බීලා ගහගත්තා. අපේ තාත්තත් බීල හිටියේ එයා අර දෙන්නා ගහගන්නවා දැකලා තාත්තා වස බිව්වා. මන් දැන් දවස් 4 කින් නිදා ගෙන නෑ"

ඔන්න ඔහොම දුක්බර කතාවක් කිව්වා.ඔය ඔක්කොම කතන්දර අහලා මම මට හිමි නිදි යහනේ නිදා ගත්තා.උදෙන්ම අවදි වෙනකොට නුවන් අයියල ගෙදරින් කස්ස්ස්ටිය ඇවිත් තිබ්බා.මන් ඉතින් කුකුලත් අරගෙන ගෙදර ආවා.

ඇත්තෙන්ම රෝහලේ ගෙවුණු ගෙවුණු දවස සුන්දරයි. සිය දිවි හානි කරගන්නකොට වස බොනවා වගේ වේදනාකාරී දෙයක් තෝරා ගන්නේ නැතුව වෙන විදිහක් ගැන හිතන්න වස බීපු කෙනා විදපු දුක දැක්ක නිසා කිව්වේ. දිගටම ලියන්න ඉන්නේ. පමා උනාට සමා වන්න. ලදී තවත් කතාවකින් මුණ ගැසෙමු. ඔබටත් මටත් ජය වේවා.

සලිත
2016-08-14

3 14